එස්.මහින්ද හිමි


එස්.මහින්ද හිමි



අධිරාජ්‍යවාදයෙන් රට මුදවා ගනු වස් 'කවිය' තම අවිය කොට ගත් යතිවරයාණන් කෙනෙකු ලෙස එස්.මහින්ද හිමියන් හඳුන්වා දීම වටනේ ය. වැඩිහිටියන් සඳහා එක් මගක් ඔස්සේත් බාලයන් සඳහා අනෙක් මගක් ඔස්සේත් ඒ කවිය එතුමෝ දියත් කළහ. ඒ අනුව 'නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකාමාතා ජාතික කාව්‍' මගින් නිදහස, ජාතිකත්වය, ජාතිකානුරාගය, දේශවාත්සල්‍ය මෙරට ජනයාගේ සිත් තුළට කාවද්දන්නට මහින්ද හිමි සමත් විය.

මහින්ද හිමි මෙහෙය වූ කවි මගේ අනෙක් අංශයක 'බුද්ධාභි වන්දනා පද්‍ය කාව්‍' ද වෙයි. 'රසාංජලී' එවැන්නකි. රුවන්වැලි සෑ ඉතිහාසය පද්‍යයට නැඟුවේ 'රත්නමාලී' කාව්‍යයෙනි. ඊටත් අමතරව 'රාහුල කුමාරයා, ශ්‍රී පාද, මහා පරාක්‍රමබාහු කුමාර කාලය, දෙවන රාජසිංහ චරිතය' යන ගද්‍ය ග්‍රන්ථ ද නිර්මාණය කළ එතුමන්ගේ විශිෂ්ට කාව්‍ය සම්ප්‍රදාන ධාරාව 'ළමා කාව්‍ය' වෙයි. 'කවිමුතු පොත් පෙළ, කව් මිණි පොත් පෙළ, ළමා කව් කළඹ, ඔවා මුතු දම, දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල, නන්දන ගීත' ඒ අතර පවතී. මේවා පෙළ පොත් සේ ගැනෙන්නේ පාසැලේ ප්‍රාථමික ශ්‍රේණි අනුව කාණ්ඩ වශයෙන් බිහි වූ හෙයිනි. 'ජාතික තොටිල්ල හෙවත් දරු නැළවිල්ල' පද්‍ය 95කින් සමන්විත ය.

මහින්ද හිමිගේ ළමා කව් හා ගීතාවලීන්ගේ ආකෘතිය සරල මෙන් ම සුගමතාවෙන් ද යුත් ය. බාලයින්ගේ මතු නොව වෘද්ධයන්ගේ පවා හද බඳනා හෘදයකාන්ත වූවකි. කවියේ වස්තු විෂය සංජානනයෙන් දරුවාගේ සහානුභූතියක් බවට පත් කරන්නට කවියා නිරන්තර සමත්කම් පායි. එතුමන්ගේ 'රාත්‍රිය' (සමන් පිච්ච මල් ඉහිරුණු), 'හඳ' (සුරතල් පොඩි හා පැටවා), 'යුතුකම' (මොනවද මුත්තේ මොකද කරන්නේ), 'ඉබ්බෙක්' (බකල කොට ඉබ්බෙක්) වැනි ඕනෑ ම ළමා කවක් දරුවාට දෙන්නේ තවත් අපූර්ව නව්‍ය අත්දැකීමකි; ආස්වාදයකි. මෙවන් පද්‍ය පන්ති දෙසීයය කට ආසන්න ප්‍රමාණයක් මහින්ද හිමි ළමා කාව්‍යාවලි‍යෙන් මතු වෙයි.

Comments